ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

by Chathuranga Rajapaksha 11-03-2018 | 7:00 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. කොළඹ, අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 214 කි. කුසල් ජනිත් පෙරේරා සිය 9 වන 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74 කට දැවී ගියේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය තුන්වන 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57 කි. නොදැවී කඩුල්ලේ රැදී සිටි උපුල් තරංග ලකුණු 32 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමන් ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව ලකුණු 215 ක දැවැන්ත ඉලක්කයක් සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මුශ්ෆිකර් රහීම් පන්දු 35 කදී හතරේ පහර 5 ක් හා හයේ පහර 4 සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 72 කි. ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් ලකුණු 47 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේචී නුවන් ප්‍රදීප් ලකුණු 37 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය. තරග වාර්තා : * මෙම ලකුණු 215 පන්දුවාර 20යි 20 තරගයක ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ගණන වේ. * ඒ වගේම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20යි 20 තරගයක කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන වේ. * ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවාර 20යි 20 තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන ලෙස ද මෙය වාර්තා වේ. * ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායමක් පන්දුවාර 20යි 20 තරගයක ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ගණන ලෙස ද මෙය ඉතිහාසගත වේ. (මීට පෙර 193/5 ශ්‍රී ලංකාවට එරෙහිව 2018-02-15 ඩකා හිදී) https://www.facebook.com/NewsfirstSL/videos/1871179959608920/