වව්නියාවෙන් අතුරුදන්වූ දරුවා මවට භාර දෙයි

වව්නියාවෙන් අතුරුදන්වූ දරුවා මවට භාර දෙයි

by Sagarika Chathumali 11-03-2018 | 7:45 PM

COLOMBO (News 1st) : වව්නියාව රෝහලේදී පැහැර ගැණුනු දින දෙකක් වයසැති බිළිඳා DNA පරීක්ෂණයකින් තොරව දෙමාපියන් වෙත භාර දී තිබේ.

ඒ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. පොලීසිය සඳහන් කළේ, බිළිඳා පැහැරගත් කාන්තාව වරද පිළිගැනීම සහ බිළිඳාගේ මව යැයි, සැලකෙන කාන්තාව දරු ප්‍රසූතියක් සිදුකර ඇති බවට තහවුරු වූ නිසා DNA පරීක්ෂණයකින් තොරව බිළිඳා දෙමාපියන්ට භාරදුන් බවයි. බිළිඳා පැහැර ගත් බව කියන කාන්තාව රු. ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේ ය. පසුගිය 9වන දා වවුනියාව රෝහලේදී අතුරුදන් වූ බිළිඳා ඊට පසු දා සොයා ගැනුණේ, අනුරාධපුර රෝහලේ සිටියදීයි. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියක අත්අඩංගුවට පත් විය. වවුනියාව බෝගස්වැව පදිංචි එම්.එම්. කල්‍යාණි මහත්මිය පසුගිය 5 වන දා දරු ප්‍රසූතිය සඳහා වවුනියාව රෝහලට ඇතුළත්ව ඇති අතර පසුව ඇය එහිදී පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත. දරුවා අතුරුදන් වීමට පෙර සිය බිරිඳ සමග කාන්තාවක මිතුරු වී ඇති බවත් බිරිඳ වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී දරුවා ද අදාළ කාන්තාව ද අතුරුදන්ව සිට බවත් කල්‍යාණි මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඒ.ආර්. රාමනායක මහතා සඳහන් කළේ ය.