ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

by Chathuranga Rajapaksha 11-03-2018 | 2:35 PM
COLOMBO (Newsfirst) - ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අද දහවල් රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණු බව ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ හැකියාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. මේ අතර බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නවදිල්ලි නුවරදී කියා සිටියේය. ජනාධිපතිතුමා එම අදහස් පල කළේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ටපතිභවන්හිදී අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර සුර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙළ අමතමිනි. ඊට පුර්ව සූදානමක් ලෙස සූර්යබල සංග්‍රාමය නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙවැනි සමුළු සඳහා ශ්‍රී ලංකාව කැපවන බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම සමුළුව සඳහා ලබාදෙන නායකත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රසාදය පල කළේය. බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සූර්ය බලශක්ති තාක්ෂණය වැඩි දියුණු කර ගැනීම, සුර්ය බල ව්‍යෘපෘති සඳහා යන පිරිවැය අවම කරලිම ඇතුළු ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරිම වෙනුවෙන් ප්‍රථම වරට මෙම සමුළුව පැවැත්වේ. සමුළුවට ලොව රටවල් රැසක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එක්ව සිටිය හ.