ඉන්දු - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර හමුවක්

ඉන්දු - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර හමුවක්

by Chathuranga Rajapaksha 11-03-2018 | 10:47 AM
COLOMBO (Newsfirst) - සාමය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වී ඇති බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවීන් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ රාෂ්ට්‍රපති භවන් හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වු පසු දෙරට අතර පැවති ආර්ථීක, සංස්කෘතික සහ වෙළඳ සබඳතාවලට නව ජවයක් ලැබුණු බව ද ඉන්දීය ජනපතිවරයා එහිදී සඳහන් කළේය. එම හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කළ ආරාධනය පිළිගත් රාම් නාත් කෝවින් මහතා නුදුරේදීම මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බව ද ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර ඉන්දීයාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අන්තර්ජාතික සුර්ය බලශක්ති එකමුතුව ඇමතීමට නියමිත ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් ජනාධිපතිතුමා එම සමුළුවට සහභාගී වේ. සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වේ. මේ අතර ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සිට ලබන 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.