පළමු ඉනිමේ වැඩි ගෞරව රාජකීය විද්‍යාලයට

139 වැනි නිල් මහා සටනේ පළමු ඉනිමේ වැඩි ගෞරව රාජකීය විද්‍යාලයට

by Chathuranga Rajapaksha 10-03-2018 | 7:02 PM
COLOMBO (Newsfirst) - කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 139 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගය අද දිනය සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 3 කි. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණූ සංඛ්‍යාව 33කි. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 46ක් ලබා ගත්තේය. කවිඳු මදාරසිංහ ලකුණු 37 ක් රැස් කළ අතර ඩිමල් විජේසේකර ලකුණු 23 ක් රැස් කළේය. රාජකීය විද්‍යාල කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් ලකුණු සංඛ්‍යාව 151 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාවෙන් අනතුරුව රාජකීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 178 ක් රැස් කළේය. කලණ පෙරේරා ලකුණු 57 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඩෙලන් පීරිස් ලකුණු 40 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූයේ පන්දුවාර 64 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස් කරගෙන සිටියදී ය. හෙට තරගයේ 3වන සහ අවසන් දිනයයි.