ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යයි

ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යයි

by Staff writer 10-03-2018 | 12:50 PM
Colombo (Newsfirst) - නිල සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් නව දිල්ලියේ හෙට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජික රටවල ප්‍රථම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ය. රාජ්‍ය නායකයන් හා ඉහළ පෙළේ නියෝජිතයින් 30 දෙනෙකුට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර සූර්ය සංධාන සමුළුවට සහභාගී වීමට නියමිත ය. ශ්‍රී ලංකාව මේ වසරේ පෙබරවාරි 12 වන දින ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් විය. ජාත්‍යන්තර සූර්ය සංධානයේ ප්‍රධාන අරමුණ වන්නේ, විකල්ප බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් සූර්ය බලශක්තිය වඩා ප්‍රශස්ත ආකාරයෙන් භාවිතයට ගැනීම සහ කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පිහිටා තිබෙන සූර්ය සම්පතින් පොහොසත් රටවල සූර්ය තාක්ෂණයේ සුවිශේෂී යෙදවුම් අවශ්‍යතාවලට පිළියම් සෙවීම ය. මෙම ව්‍යාපෘතිය හරහා සූර්ය ශක්තිය නිෂ්පාදනය කරන පරිසර පද්ධතිවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමටත් සූර්ය ශක්තියෙන් පොහොසත් බහුතරයක් රටවල් මුහුණ දෙන පොදු ගැටලු වන සියලු දෙනාට ම බලශක්තිය ලබා ගැනීම, බලශක්ති සාධාරණත්වය සහ දරා ගැනීමට හැකි බලශක්ති වියදම යන කරුණු ගැන වගබලා ගැනීමටත් ජාත්‍යන්තර සූර්ය සංධානය තවදුරටත් අපේක්ෂා කරයි. ජනතාවගේ මූලික බලශක්ති අවශ්‍යතා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරා ගැනීමට හැකි පසුබිමක් රට තුළ සකස් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සූර්ය සංධානය හා එක්ව තිබෙනවා. මේ අතර ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.