පුංචි ඡන්දයෙන් තේරීපත් වූවන්ගේ නම් අද ගැසට් කෙරේ

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ

by Staff writer 09-03-2018 | 7:19 AM
Colombo (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 25% ක කාන්තා නියෝජනය සහිතව සභික නාම ලේඛනය ගැසට් කෙරෙනු ඇති. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8690කි. කොට්ඨාස මට්ටමින් කාන්තාවන් 535 දෙනෙකු පළාත් පාලන ආයතන සඳහා තේරීපත්ව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. කාන්තාවන් 1991 දෙනෙකු අතිරේක ලැයිස්තු හරහා නම් කිරීමට නියමිත ය. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන 15ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව ය. එම ආයතනවලට තරග කළ පක්ෂ සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතු වී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර පළාත් පාලන ආයතන ලබන 20 වන දා ස්ථාපිත කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය.