බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක්

නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

by Staff writer 09-03-2018 | 10:22 AM
Colombo (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. තරගාවලියේ දෙවන තරගය වූ මෙය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 බිඳ වැටුණේ, ලකුණු 72කදී ය. ලිටන් ඩාස් සහ සබීර් රහ්මාන් 5 වන කඩුල්ලට ලකුණු 35ක සබඳතාවක් ගොඩනැගූහ. ඩාස් ලකුණු 34ක් රැස් කළේ ය. රහ්මාන් ලකුණු 30යි. ජය්දේව් උනද්කට් ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තේ ය. වේග පන්දු යවන ක්‍රීඩක විජේ ශන්කර් ලකුණු 32ට කඩුලු 2ක් බිඳ හෙළුවේ ය. බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 139කි. ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී සිටියදී ය. ඉන්දීය මුල්පෙළ කඩුලු 2 ලකුණු 40කදී බිඳ වැටිණි. ශිඛර් ධවාන් සහ සුරේෂ් රයිනා අතර 3 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 68කි. රයිනා ලකුණු 28ක් රැස් කළේ ය. ධවාන් පන්දු 43කින් ලකුණු 55ක් රැස් කළ අතර ඊට 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඇතුළත් ය. තරගයේ වීරයා ඉන්දීය කණ්ඩායමේ විජේ ශන්කර් ය.