ඇලෝසියස්ට ඇප දීම ප්‍රතික්ෂේප කෙරේ

ඇලෝසියස්ට හා පලිසේනට ඇප දීම කොළඹ මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 09-03-2018 | 12:53 PM
Colombo (Newsfirst) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද ප්‍රතික්ෂේප කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 4 වන දා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔවුන් කොළඹ මහාධිකරණය හමුවට එම ප්‍රතිශෝධන අයැදුම්පත් ඉදිරිපත් කර තිබිණි. ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර ඇති නියෝගය නීත්‍යානුකූල නියෝගයක් බව මහාධිකරණයට පෙනී යන බව පෙන්වා දුන් විනිසුරුවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කිරීමකින් තොරවම එම ප්‍රතිශෝධන අයැදුම්පත් ප්‍රතික්ෂේප කළේ ය. අර්ජුන් ඇලෝසියස්ට හා කසුන් පලිසේනට චෝදනා එල්ල වී ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය දත්ත උපයෝගී කර ගනිමින් බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් කෝටි 9147 ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.