අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය දුන් කාලය අදින් අවසන්

CID ඉදිරියේ පෙනී සිටීමට අර්ජුන මහේන්ද්‍රන්ට දුන් කාලය අවසන්

by Sagarika Chathumali 08-03-2018 | 8:45 PM

COLOMBO (News 1st) : හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි, දන්වා අධිකරණය ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කුරියර් සේවාව ඔස්සේ හා ශීඝ්‍රගාමි තැපෑල ඔස්සේ යැවීමට නොහැකි වූ බව පසුගිය 2 වන දා පැවති නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව පැවසී ය. ඒ ලබා දී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොසිටීම හේතුවෙනි. මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකතනයට ජාත්‍යන්තර කුරියර් සේවාවේ සිංගප්පූරු නියෝජිතයා විසින් ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ දැනුවත් කොට ඇති බව ද අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එහෙත් එම ඇමතුමට පිළිතුරු දුන් ලක්ෂ්මන් නමැත්තා පවසා තිබුණේ මාර්තු 30 වන දින තමන් සිංගප්පූරුවට පැමිණෙන බවයි. මේ අනූව හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුණ මහේන්ද්‍රන් මහතා අද දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වේ. එලෙස පෙනී සිටීමට ඔහු අපහොසත් වුවහොත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති.