''සියලු ජාතීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම අපේ යුතුකමක්''

සියලු ජාතීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම අපේ යුතුකමක් - රංජිත් මද්දුම බණ්ඩාර

by Staff writer 08-03-2018 | 8:28 PM
COLOMBO (News 1st) – නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද උදෑසන දිවුරුම් දුන්නේ ය. ජනාධිපති කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක් ව සිටියහ. රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට අමතරව තවදුරටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ඇත. නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මද්දුම බණ්ඩාර මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. ආගමික වතාවත්වලින් අනතුරුව අමාත්‍යවරයා ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් ද බැහැදුටුවේ ය. මෙහිදී පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් ගම්මැද්ද ක්‍රියාන්විතය පිළිබඳව ඇගයීමට ද ලක් කළේ ය. අනතුරුව නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ, සියලු ජාතීන් අතර සමගිය ශක්තිමත් කොට සියලු දෙනාට ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමේ වගකීම තම අමාත්‍යංශය සතු බව ය.