දරණාගම කුසලධම්ම හිමියන්ට අජරාමර නිවන් සුව....!

දරණාගම කුසලධම්ම නාහිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව....!

by Staff writer 08-03-2018 | 8:34 PM
Colombo (Newsfirst) - බුදු දහමේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක නිරත වූ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අද දැයෙන් සමුගත්තේ ය. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ය. අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට ගිහි පැවිදි විශාල පිරිසක් අද පෙරවරුවේ සිට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණියහ. ශ්‍රී දේහය අද පස්වරු 2.00ට පමණ විහාරස්ථානයේ සිට පෙරහැරින් නිදහස් චතුරස්‍රය වෙත වැඩම කළේ ය. නිදහස් චතුරස්‍ර භූමියේ සකස් කළ විශේෂ පීඨිකාවක ශ්‍රී දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කළේ, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි අනු නාහිමියන් විසිනි . අනතුරුව ත්‍රෛයි නිකායන් නියෝජනය වන පරිදි අනුශාසනා ද සිදු කෙරිණි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ සර්ව ආගමික නායකයෝ ද ආදාහන පූජෝත්සවයට සහභාගී වූහ. රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ අද පස්වරුවේ ශ්‍රී දේහය අදාහනය කෙරිණි.