අර්ජුන මහේන්ද්‍රන්ට CID හමුවට ලබා දුන් කාලය අවසන්

අර්ජුන මහේන්ද්‍රන්ට CID හමුවට පැමිණෙන්නැයි ලබා දුන් කාලය අවසන්

by Hashini De Mel 08-03-2018 | 2:05 PM

COLOMBO (News 1st) - හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කුරියර් සේවාව ඔස්සේ හා ශීඝ්‍රගාමි තැපෑල ඔස්සේ යැවීමට නොහැකි වූ බව පසුගිය 2 වන දා පැවති නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ඒ, ලබාදී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොසිටීම හේතුවෙනි. මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකතනයට ජාත්‍යන්තර කුරියර් සේවාවේ සිංගප්පුරු නියෝජිතයා විසින් ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කොට ඇති බව ද අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එහෙත් එම ඇමතුමට පිළිතුරු දුන් ලක්ෂ්මන් නැමැත්තා පවසා ඇත්තේ, පෙබරවාරි මාසයේදී අර්ජුන් මහේන්ද්‍රන් යළි දිවයිනට පැමිණෙන බවයි. මේ අනූව හිටපු මහබැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා, අද දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වනු ඇත. එලෙස පෙනී සිටීමට ඔහු අපොහොසත් වුවහොත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කටයුතු කරණු ඇත.