139 වන 'නිල් මහා සටන' අනිද්දා ඇරඹෙයි

139 වන 'නිල් මහා සටන' අනිද්දා ඇරඹෙයි

by Hashini De Mel 07-03-2018 | 10:22 PM

COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර විද්‍යාලාන්තර වාර්ෂික ක්‍රිකට් තරගය, 139 වන 'නිල් මහා සටන' අනිද්දා (09) වන දා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ව තිබේ.

රාජකීය තෝමස් නිල් මහා සටන ලොව අඛන්ව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවන දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන අතර එය දෙවනි වන්නේ ඉන් වසරකට පෙර ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ශාන්ත පීතර හා ඇඩිලේඩ් ඇල්ෆ්‍රඩ් කුමර විදුහල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට පමණි. රාජකීය තෝමස් නිල් මහා සටන 1880 වසරේදී ආරම්භ වන අතර වසර 138 ක ඉතිහාසය තුළ රාජකීය විද්‍යාලය තරග 35 ක් ද ශාන්ත තෝමස් විද්‍යාලය තරග 34 ක් ද ජයගෙන තිබේ. ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වට යටතේ අවසන් වරට 2016 වසරේදී රාජකීය ක්‍රීඩකයින් නිල් මහා සටන ජය ගත් අතර ශාන්ත තෝමස් විදයාලය අවසන් වරට නිල් මහා සටන ජය ගත්තේ 2007 වසරේදී අශාන් පිරීස්ගේ නායකත්වයෙන් ය. කොළඹ රාජකීය විද්‍යාලයට මෙවර නායකත්වය ලබා දෙන්නේ පසිඳු සූරියබණ්ඩාර යි.