හෙට(8) හවස 4 තෙක් මහනුවරට ඇඳිරි නීතිය

හෙට(8) හවස 4 තෙක් මහනුවරට ඇඳිරි නීතිය : පොලීසියේ නිවාඩු අවලංගුයි

by Sagarika Chathumali 07-03-2018 | 5:06 PM

COLOMBO (News 1st) : මහනුවර දිස්ත්‍රික්කයට පැන වූ ඇදිරි නීතිය අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

  ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයා සතු බලය අනුව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ බව නිවේදනයක් නිකුත් කරන පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හැර අන් සියලු දෙනා ඇඳරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මහාමාර්ග, දුම්රිය මාර්ග, උද්‍යාන, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් හෝ පොදු ස්ථානවල සිටීම හෝ ඒ හරහා යාම තහනම් බවයි. එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක් මත සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසියම් අයෙකුට අවශ්‍ය වුවහොත් , අදාළ අවශ්‍යතාව සඳහන් කර කවර හෝ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කරයි. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

පොලීසියේ නිවාඩු අවලංගුයි... 

මේ අතර වහා ම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මහනුවර පාසල් වැසේ.....

මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පාසල් වසා තැබෙන බවයි.

Social Media  අවහිරයි....  

මේ අතර සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කළේ, මේ යටතේ ෆේස් බුක්, ටිව්ටර්, වස්ට් ඇප්, වයිබර්, යුටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවිවලට ඇතුළුවීම තාවකාලිකව අවහිර කළ බවයි. අසත්‍ය තොරතුරු පැතිරයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.