ජනපතිගෙන් ඉල්ලීමක්....

සාමය ඇති කිරීමට සහය වන්නැයි, ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

by Sagarika Chathumali 07-03-2018 | 7:39 PM

COLOMBO (News1st) :ගැටුම්කාරී තත්ත්වය මගහරවා සියලු ම ජාතීන් අතර සාමය ඇති කිරීම සඳහා සර්ව ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පැවති කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, රට තුළ උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. "මේ ජාතීන් අතර ප්‍රශ්නය නවත්වන්න, අවශ්‍ය ක්‍රියමාර්ග සියල්ල අරන් තියෙනවා. යුද, නාවික , ගුවන් , පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු සියලු අංශ යොදවා තියෙනවා. මේ ප්‍රදේශවලට සාමාන්‍ය ජන ජීවිත යථාතත්ත්වයට පත්කරන්න සාමය ආරක්ෂා කරන්න ගැටුම් වැළැක්වීම සඳහා කටයුතු කරන්න" මේ අතර  සාමකාමී වාතාවරණයක් ඇති කිරීම සඳහා මැදිහත්වන ලෙස ද ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කරිමින් සිටින බවයි. "නමුත් අපිට පෙනී යනවා සංවිධානාත්මක වූ අන්තවාදී පිරිස් විසින් රට තුළ නොසන්සුන්තාවක් ඇති කරන්න ක්‍රියාත්මක වන බවයි" මෙවන් අවස්ථාවක සිංහල, දමිළ, මුස්ලිම් සහෝදර ජනතාව අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් සමගියෙන් වැඩකටයුතු කිරීමටත් ක්‍රියා කරන ලෙස  ජනාධිපතිවරයා ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලීමක් කළේ ය.