"දැන් ඔක්කොම එළිවෙමින් තියෙනවා" - රාජිත

"දැන් ඔක්කොම එළිවෙමින් තියෙනවා" - රාජිත

by Sagarika Chathumali 07-03-2018 | 9:48 PM

COLOMBO (News 1st) : මහනුවර දිස්ත්‍රික්කය පුරා ම හමුදාව යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පවසයි.

"මේ ප්‍රදේශය ඉතා විශාල ප්‍රදේශයක්. ඒ හැමතැනම හමුදා යොදවා තියෙනවා. මුළු නුවර ප්‍රදේශයේ ම ඊයේ රෑ වුනේ ඉන්සිඩන්ට් දෙකයි. ඒ වෙලා මොහොතකින් අපේ හමුදාව ඒතැන්වලට ගිහින් කළයුතු දේ කළා. අද උදේ සිදුවුණු යම් ස්ථානවල ඇතිවුණ දේ ඊට වඩා වෙනස් .මොකද ඒ අයට ඇටෑක් කරන්න යද්දී ඒ අයත් රෙස්පොන්ඩ් කරනවා" අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට නම් සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු බව ත් එහිදී විජේගුණරත්න මහතා සඳහන් කළේ ය. මේ අවස්ථාවෙ කතාකරන්න ඕනෑ මේක වැඩිකරන්න නෙවෙයි මේ තත්ත්වය අඩුකරන්න.අඩු කරන්න නම් අපේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු කරන්න ඕනෑ. හදිසී නීතිය ක්‍රියාත්මකව ඇති මොහොතකදී ත් මෙවන් ක්‍රියා සිදුවන්නේ, කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය. අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ඊට දුන්නේ මෙවන් පිළිතුරකි. ''ඇදිරි නීතිය ඊයේ රෑ තිබුණා. සිදුවීම් දෙකයි වුණේ, අද උදේ අයින් කළා. මේ දැම්මේ පොලිස් ඇඳිරි නීතිය. දැන් ඒ වෙනුවට රජයෙන් නිකුත් කරන ඇඳිරි නීතිය දාලා ප්‍රදේශය පාලනය කරන්න කටයුතු කරනවා'' මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද කැබිනට් හමුවේදී ප්‍රශ්න කෙරිණ.

කැබිනට් හමුවේදී මාධ්‍යවේදී නැගූ පැනයන්ට සම කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරු පහතින්.....

මාධ්‍යවේදී පැනය : ඊයේ අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියනවා පොලිස් බුද්ධි අංශවල ක්‍රියාත්මකවීම අඩුමට්ට පැවතුනා ඒකයි මේවගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව කියලා? අමාත්‍ය රාජිත සේනාරත්න: ඒක නිසා තමයි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරලා තියෙන්නේ. මාධ්‍යවේදී පැනය  : මේ වන කොට ආරක්ෂක අංශවල මැදිහත්වීම ගැන ඔබතුමාල තෘප්තිමත් ද ? ඒක ඉස්සරහට වැඩිදියුණු කරන්න මොක ද කරන්නේ. අමාත්‍ය රාජිත සේනාරත්න: සියලුම දේවල් කරන්න වෙන්නේ ආරක්ෂක අංශ නේ.අවුරුදු 30 යුද්ධයක් අවසන් කළේ ආරක්ෂක අංශනේ. ඒ නිසා අපිට විශ්වාස තියන්න වෙනවා ආරක්ෂක අංශ කෙරෙහි මාධ්‍යවේදී පැනය : මේකට මැදිහත්වීම් කරන කල්ලි කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කරන්නේ කොහොම ද ඔවුන් අත්අඩංගුවට ගන්නේ කොහොමද? අමාත්‍ය රාජිත සේනාරත්න: දැනට ඒ පිළිබද වාර්තා එමින් තියෙනවා.මොකද සිද්ධියක් වුණාම එකපාර තේරෙන්නේ සිද්ධියට පිටුපස හිටපු අය එන්නේ නෑ.එදාට අත්අඩංගුවට ගනනේ සිද්ධියට සම්බන්ධ අය.ඒ අයගෙන් ප්‍රශ්න කලාම තමයි එළිවෙන්නේ කවුද ඒ අය මෙහෙව්වේ. කවුද ඒ අයට බස් අරන් දුන්නේ.දැන් කියමින් තියෙනවා ඒ අය. දැන් නොයෙකුත් අයගේ නම් එළිවෙමින් තියෙනවා. මාධ්‍යවේදී පැනය : ඇමතිතුමා ඒ දේශපාලඥයින්ගේ නම් ද? අමාත්‍ය රාජිත සේනාරත්න: මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක්ගේ. ඒ එක්කම තියෙනවා අනිත් අය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරු. මේ ප්‍රධානම සිද්ධින්වලට තවත් දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ගේ නමක්. තවත් ඒම පක්ෂයට සම්බන්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්. මේ විදිහට නම් එළිදරව් වෙමින් යනවා. පරීක්ෂණ දිගටම කරනවා. ඒ අයගේ කටඋත්තර අනුව තවත් අය අත්අඩංගුවට ගන්නවා. සමාජ වෙබ් අඩවි පිළිබඳ වාර්තා වෙනවා.කවුද ඒව මෙහෙයවන්නේ කියලා. එකෙන් කොටසක් ආණ්ඩුවට විරුද්ධව තව කොටසක් ජාතිවාදය ප්‍රචාරය කරන්න. මේ ඔක්කොම එළිවෙමින් තියෙනවා. https://youtu.be/3YsOSlqjAZQ