අයින්ස්ටයින්ගේ සටහනක් වාර්තාගත මිලකට

ආදරය ප්‍රතික්ෂේප කළ විද්‍යාඥවරියකට අයින්ස්ටයින් ලියූ සටහනක් ඉහළ මිලකට අලෙවි වෙයි

by Staff writer 07-03-2018 | 1:55 PM
(Newsfirst) - නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය ආදරය ප්‍රතික්ෂේප කළ විද්‍යාඥවරියකට ලියූ සටහනක් වාර්තාගත මිලකට අලෙවි වී තිබේ. එම සටහන ඉතා සංවේදී ලෙස ජර්මානු භාෂාවෙන් ලියන ලද්දකි. ජෙරුසෙලමේ පැවති වෙන්දේසියකදී ඒ සඳහා නියම වූ මිල අමෙරිකානු ඩොලර් 6100කි. 42 හැවිරිදි අයින්ස්ටයින් 1921 වසරේදී එය ලියා ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ එළිසබෙතා පිචීනි නම් රසායන විද්‍යා ශිෂ්‍යාවකට ය. ඉතාලි ජාතික තරුණියක වන එළිසබෙතා, අයින්ස්ටයින්ගේ සොහොයුරිය සමගින් එවකට මහල් නිවසක රැඳී සිට තිබේ. ඇය හමුවීමට අයින්ස්ටයින් වඩාත් කැමැත්තෙන් පසු වූවත් එළිසබෙතා එය ප්‍රතික්ෂේප කළේ, ප්‍රසිද්ධ පුද්ගලයින් මුණගැසීමට ඇය තුළ පැවැති ලජ්ජාශීලිත්වය හේතුවෙනි. සිය බලාපොරොත්තුව ඉටු නොවූ පසු ඇල්බට් අයින්ස්ටයින් එළිසබෙතා පිචිනීට මෙම සටහන ලබා දී ඇත්තේ, මිත්‍රත්වයේ සමරුවක් ලෙසින් බව දැක්වේ.