කුපිත කිරීම් වලින් කුපිත නොවූ ජනතාවට උපහාරය

කුපිත කිරීම් වලින් කුපිත නොවූ ජනතාවට උපහාරය

by Hashini De Mel 06-03-2018 | 8:06 PM

COLOMBO (News 1st) - අද අප අත්විඳින්නේ අද ඊයෙක මුල පිරුණු දෑ නොවෙයි.

සමගිය පරාජය කර අසමගිය සදාතනික කිරීම සඳහා දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක ප්‍රතිපත්තියක ප්‍රතිඵල වේ. නමුත් අවසානයේ දිනන්නේ කවු ද ? පරදින්නේ කවු ද ? අද අප අත්විඳිමින් සිටින මේ තත්ත්වය තුළ 1983 වසරේ අඳුරු මතකය යළි ත් සිහිපත් කළ යුතුමයි. රටේ සිව් දෙස ගම් නියම් ගම්වල වීදි දිගේ ගලාගිය ලේ දහරා අවසානයේ පරම්පරා ගණනාවක් විහිද ගියේ ය. සිදු වූ දේපොළ හානි මැනිය හැකි මුත් අහිමි වූ වටිනා ජීවිත හා එමගින් ජනිත වූ අපේක්ෂා භංගත්වයේ තරම මැනිය හැක්කේ කාට ද ? නීතිය හා සාමය තහවුරු කිරීම එවක පැවති ආණ්ඩුවේ වගකීම වුව ද එය ඉටු කිරීමට සමත් වූයේ නැත. තමන්ට ආරක්ෂාව සපයනු ඇති බවට ජනතාව තබා තිබූ විශ්වාසය එම ආණ්ඩුව විසින් ම ඉවත දැමීම හේතුවෙන් ජාතියක් ඊට වන්දි ගෙව්වේ දශක ගණනාවක් පුරා වැගිරු රුධිරයෙනි. සමාජය තුළ බිය හා සැක ඇතිකර පසෙකටවී බලා සිටීම ප්‍රශ්න ඇති කරන්නන් හා කුපිතකරවන්නන්ගේ ක්‍රමයයි. අවසානයේ ජාතිය එක්සේසත් කිරීමට ඉතිරි වන්නේ කවුරුන් ද ? පරම්පරා ගණනාවකට සිදු වන හානි පූරණය කිරීමට ඉතිරි වන්නේ කවුරුන් ද? අනාගතයේදී ඇතිවිය හැකි යුද්ධ හා සටන්වලදී සටන් කරන්නට ඉතිරි වන්නේ කවුරුන් ද ? නිවෙස්වල යළි ලිප ගිනි දැල්විය හැකි පරිදි ආර්ථිකය යළි ගොඩ නැංවීමට ඉතිරි වන්නේ කවුරුන් ද? ගිලන් හා තුවාල ලද අප රැක බලාගන්නට ඉතිරි වන්නේ කවුරුන් ද ? අපගේ දරුවන්ගේ අනාගතයට වගකියන්නට ඉතිරි වන්නේ කවුරුන් ද ? ප්‍රශ්න ඇති කරන්නන් වීදි නොබැස අපේක්ෂා භංගත්වය හා කැඩුණු බිදුණු ජාතියක් අපට ඉතිරිකර සැඟවෙයි. කෙසේ නමුදු අද අපට ආඩම්බරවිය හැකි ය. කුළු ගැන්වෙන හා අනුග්‍රහය ලත් ජාතිවාදය මැද වුවද අපගේ ජාතිය එකාවන් ව සිටියි. විශේෂයෙන් ම ඊයේ රාත්‍රියේදී, ජනතාව අතර එකිනෙකා කෙරෙහි වූ ආදරය, සමගිය හා ශක්තියේ තරම අප අත්දුටු බව පිළිගත යුතුමය. ඒ වෙනුවෙන් රටේ ජනතාවට ආචාරය මෙන් ම ගෞරවය ද හිමිවිය යුතුව ඇත. ඊයේ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය හමුවේ එය මැඩලනු පිණිස ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් යුහුසුළුව ක්‍රියාත්මකවීම ගැන ඔවුන්ට ආචාරය පුදකළ යුතුම වේ. ජනතාව වෙනුවෙන් තම වගකීම ඉටුකරමින් අතලොස්සකගේ නීච ප්‍රයත්නයන්වලින් ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවලට හා පොලීසියට ද ගෞරවය හිමිවිය යුතු ය. අප අද කරන දේ ආදීනව අප කෙරෙහි පමණක් නොව දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් බලපානු ඇත. එබැවින්, ශක්තිමත් හා එක්සත් ශ්‍රී ලංකාවක් සඳහාවන අපගේ කැපවීම ජව ගැන්වීමට අප මෙය අවස්ථාවක් කරගත යුතු ය. එබැවින් ම අප එකාවන්ව එක හඬින් අපගේ ජාතියේ සතුට හා සෞභාග්‍යයට වින කරන සියල්ල ප්‍රතික්ෂේප කර කුණු කූඩයට දැමිය යුතු කාලය දැන් දැන් උදාවී ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1865575610169355/