උදෑසන කාලයට බොරැල්ල දෙසට අමතර මංතීරුවක්

උදෑසන කාලයට බොරැල්ල දෙසට අමතර මංතීරුවක්

by Hashini De Mel 06-03-2018 | 7:49 PM

COLOMBO (News 1st) - රාජගිරිය ගුවන් පාලම අවට අතුරුමාර්ගවල ඉදිකිරීම් කටයුතු නිම වෙන තුරු උදෑසන කාර්ය බහුල වේලාවන් තුළ අමතර මංතීරුවක් බොරැල්ල දෙසට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, එම අමතර මංතීරුව ලබන 8 වන දා සිට සතියේ සෑම දිනකම උදෑසන 6.30 සිට 9.00 දක්වා ක්‍රියාත්මක වන බවයි. කාර්ය බහුල වේලාවන්හිදී බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ සිට රාජගිරිය ගුවන් පාලම ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා අමතර මංතීරුවක් විකල්ප දිශාවට දිවෙන මංතීරුව දිගේ ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත. බත්තරමුල්ල දෙස සිට පැමිණෙන රථවාහන පාර්ලිමේන්තු වටරවුම අසළින් අමතර මංතීරුවට ඇතුලු විය හැකි අතර පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ පැමිණෙන රථවාහන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ ඇතුල් කෝට්ටේ මංසන්ධියෙන් අමතර මං තීරුවට ඇතුලුවීමට හැකියාව පවති. මෙම අමතර තීරුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගය දිගේ රාජගිරිය ගුවන් පාලම ඔස්සේ බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත.