ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

by Chathuranga Rajapaksha 06-03-2018 | 10:34 PM
COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේය. ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඉන්දීය ඉනිම ආරම්භ කළේ, නායක රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන්. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ නායක රෝහිත් ශර්මා ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. සුරේෂ් රයිනාට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. වේගවත් පිතිරහඹයක නිරත වූ ශිඛර් ධවාන් පන්දු 49කින් ලකුණු 90ක් රැස් කළේය. ඊට 6 පහර 6ක් සහ 4 පහර 6ක් ඇතුළත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය. කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. මෙන්ඩිස් ලකුණු 11කට පිටියෙන් ඉවත් විය. ගුණතිලක ලකුණු 19යි. කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඔහු පන්දු 37කදී ලකුණු 66ක් ලබා ගත්තේය. කුසල් ලකුණු 50 සීමාව පසු කළේ පන්දු 22කින් 6 පහර 3ක් සහ 4 පහර 5ක් ද සමගිනි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14කට පිටියෙන් ඉවත් විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා ලකුණු 22ක් ලබා ගත්තේය. තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරාට හිමිවිය.