සිංහල සාහිත්‍යයේ නන්දිමිත්‍ර යෝධයා...

සිංහල සාහිත්‍යයේ නන්දිමිත්‍ර යෝධයා...

by Staff writer 05-03-2018 | 1:15 PM
ඔහු නමින් නන්දිමිත්‍ර වුව ද ගතින් යෝධයෙකු නොවීය. උස් හීන්දෑරි සිරුරකින් හෙබි ඔහු සිංහල සාහිත්‍ය වංශ කතාවට නම් යෝධයෙකු වීය. මහරගම, ඇරැව්වල කුඩා ග්‍රාමය ලෝක ප්‍රසිද්ධ වූයේ, මේ පුංචි මිනිසාගේ යෝධ නිර්මාණශීලී මනස නිසා ය. 1939 ජුනි මස පස් වන දින උපත ලැබූ ඔහු, කෙටි කතාකරුවෙකු ලෙස සාහිත්‍ය ක්‍ෂේත්‍රයට එක්වූයේ හැටේ දශකයේ අග භාගයේදී යි. ඔහු පළ කළ පළමු කෘතිය 'කය මිස සිත නැති දන' කෘතිය යි.

ඔහු රචනා කළ නවකතා මෙසේ ය.

පියවතී සහ ඇගේ පුත්තු ජීවිතයේ කොටස්කාරයෝ මල්දෙණියේ සිමියොං මම ඔබ සිඹිමි පද්මාවතී ජීවිතය සුන්දරය මිහිසරණ ගිනි කඳුලක් සිනාසෙයි

ඊට අමතරව, කෙටිකතා සංග්‍රහ රැසක් ද ඇරැව්වල නන්දිමිත්‍රයෝ සිංහල සාහිත්‍යයට දායාද කළහ.

රෝස මලේ රේණු හැලේ සුදු කොඩි ස්ත්‍රී පුංචි කුමාරි හාමි රත්තරං නෙළුම් මල් සුද්දො සහ කොයින් මැණිකේ ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ කෘති පාදක කර ගනිමින් සෙක්කුගෙදර, වතුර මල, ජීවිතය සුන්දරයි වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය වූ අතර, ස්ත්‍රී, මල්දෙණියේ සිමියොන් වැනි කෘති පසුකලෙක චිත්‍රපට ලෙස ප්‍රතිනිර්මාණය විය. නන්දිමිත්‍රයන් රචනා කළ කෘති වෙනුවෙන් රාජ්‍ය, ස්වර්ණ පද්ම, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසක් හිමි වී තිබේ. යථාර්ථවාදී රීතිය අනුගමනය කළ ඇරැව්වල නන්දිමිත්‍ර සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳ අර්ථවත් අනුභූතීන් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් විය. ඔහුගේ විශේෂත්වය වූයේ, තමන් අනුභූතිය කරගත් අත්දැකීමට සම්බන්ධ පරිසරය පසුබිම් කරගත් භාෂා ශෛලියක් භාවිත කිරීම යි. ඔහුගේ නිර්මාණ රැසක මිනිස් සිතේ පවතින ගූඪ තැන් ස්පර්ශ කරමින් මිනිස් සිතෙහි ක්‍රියාකාරීත්වය සියුම් ලෙස විදාරණය කිරීමට ඔහු තුළ පැවති හැකියාව මනාව පිළිබිඹු වෙයි. මෙවන් ලේඛකයෙකු නිහඬ වීම සමස්ත ශ්‍රී ලංකාවට ම බලපානුයේ, සිංහල සාහිත්‍යය සුපෝෂණය කළ ලේඛක පරපුරක තවත් පුරුකක් ගැළවී යාම හේතුවෙනි. කෙසේ වෙතත්, ඇරැව්වල නන්දිමිත්‍ර යෝධයාට වුව ද යථාර්ථයට එරෙහි විය නොහැක. ඔහු යථාර්ථායට හිස නැමීය. ඔහුගේ පාඨකයින් වන අප යථාර්ථය වටහා ගැනීමට උත්සහ කළ යුතු ය. ඇරැව්වල නන්දිමිත්‍ර සාහිත්‍ය යෝධයාණෙනි, ඔබට නිවන් සුව!

සටහන: කුමුදු චම්පික ජයවර්ධන