by Hashini De Mel 05-03-2018 | 9:36 PM
COLOMBO (News 1st) - රෝහල් ගාස්තුව ගෙවා ගැනීමට නොහැකිව පිටරටක තනිවුණ පුංචි පවුලක් ගැන සංවේදී කතාවක් අපට අසන්නට ලැබුණි.
ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ ඒ කතාව රටට කියන ලෙසයි.
සනුකි සෙහෙත්මා බණ්ඩාර නම් 7 හැවිරිදි ඒ පුංචි දියණිය මාස 4 ක් තිස්සේ මව්රට දකින්නට පෙරුම් පුරමින් සිටි.
ඇය මේ වන විට සිටින්නේ, ඉන්දියාවේ නාරායන් හෙල්ත් රෝහලේ තැලිසීමියා ප්‍රතිකාර ඒකකයේ ය.
මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර එගොඩවත්තේ පදිංචි සිසිර ප්‍රදීප් වීරසිංහ දියණියගේ පියා ය.
ඔහු වෘත්තියෙන් පොලිස් කොස්තාපල්වරයෙකි.
සිසිරගේ සහ දිලානි මල්ලිකා කුමාරිගේ එක ම සම්පත වූයේ පුංචි සනුකි යි.
ඇයට මාස 3 සපිරෙන විටම තැලිසීමියා රෝග ලක්ෂණ ඇති වූ බව මව්පියන් අප වෙත පැවසුවේ ය.
වෛද්‍ය පරීක්ෂණ ගණනාවකින් පසු ඇය තැලිසීමියා ආසාධිතයෙකු බව තහවුරු වූ අතර එතැන් පටන් මව්පියන් වැඩිපුර කාලයගත කළේ රෝහල්වලයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සහ මහනුවර මහරෝහලේ රුධිර පාරවිලයන ඒකකවලින් සනුකිට අවශ්‍ය රුධිරය ලබා ගැනීම මාසයකට වරක් කළ යුතු විණි.
අවුරුදු 6 සපිරෙන විට අංකුඹුර ප්‍රාථමික පාසලට ඇතුළත්ව සම වයසේ දරුවන් මෙන් අධ්‍යාපනය හැදෑරුවත් ඇය වරින් වර රෝගී වූයේ මව්පියන් අසරණ කරවමිනි.
වෛද්‍යවරුන් නිර්දේශ කළේ, ඉතා ඉක්මණින් ඇටමිදුළු බද්ධ කළ යුතු බවයි.
ඉන්දියාවේ නාරයන් හෙල්ත් රෝහල, සනුකිගේ රුධිරයට ගැලපෙන ඇටමිදුළු මුලින් ම සොයා ගත්තේ ය.
එහෙත් ඒ සඳහා අවශ්‍ය වූ මුදල රුපියල් ලක්ෂ 65 කි.
විවිධ අරමුදල් හා ධානපතීන්ගේ උපකාරයෙන් එම මුදල සොයාගත් මව්පියන් ඇය සමග ඉන්දියාවට ගියේ පසුගිය ඔක්තොම්බර් 19 වන දාය.
ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් 08 වන දා සිදු කළ සැත්කම සාර්ථක විය.
නමුත් දියණියගේ පියා පැවසූවේ, සැත්කම වේලාවේදී ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් වැඩිපුර ප්‍රතිකාර ඇයට කරන්න සිදුවීමෙන් මසකට වැඩි කාලයක් රෝහලේ නතරවී සිටිමට සිදු වූ බවයි.
එහිදී ලක්ෂ 65 ට අමතරව තව ත් ලක්ෂ 57 ක් ගෙවීමට ඔවුන්ට සිදු විය.
මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පුංචි දියණියට තවමත් නිවසට එන්නට හැකි වුයේ නැත.
ගෙදර යාම, පුංචි සනුකි දිවා රෑ දකින සිහිනයකි.
රැකියාවෙන් පමණක් දරු පවුල රකින සනුකිගේ පියාට ද අමතර රුපියල් ලක්ෂ 57 රෝහල් ගාස්තුව යනු මහමෙරකටත් වැඩි බරකි.
දැරියගේ පියා අවසානයේ සියලු දෙනා ඉල්ලා සිටියේ, තම පුංචි දියණියට මව් රටට පැමිණිමට පුළුවන් කෙනෙක් සිටි නම් උදව් උපකාර කරන ලෙසයි.
https://www.facebook.com/NewsfirstSL/videos/1864373293622920/