පසුගිය වසර 5 තුළ ලෝක ආර්ථිකයට චීනයේ දායකත්වය 30%ක්

පසුගිය වසර 5 තුළ ලෝක ආර්ථිකයට චීනයේ දායකත්වය 30%ක් - චීන අගමැති

by Staff writer 05-03-2018 | 4:16 PM
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වන සැසිවාරය අද (05) බෙයිජිං මහජන මහ ‍ශාලාවේදී ආරම්භ විය. ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ සහ රාජ්‍ය නායකයෝ ඊට එක් වූහ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික නි‍යෝජිත සම්මේලනයෙන් පසු චීනයේ උත්තරීතර බලායතනය පවත්වන ප්‍රථම රැස්වීම ය. ගෙවී ගිය වසර 5 තුළ චීනය ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් 30%කට වැඩි දායකත්වයක් ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. එම වසර 5 තුළ චීනයේ දළ ‍දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 54 සිට ට්‍රිලියන 82.7ක් දක්වා වැඩි වී තිබේ. එහි වාර්ෂික වර්ධන අනුපාතය 7.1%කි. එබැවින් එම කාලයේ චීන ආර්ථිකය ලෝකයේ සමස්ත ආර්ථික ධාරිතාවෙන් 11.4% සිට 15%ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන් ම ගෙවී ගිය වසර 5 තුළ චීනයේ අයවැය හිඟය 3%කට අඩු මට්ටමින් පාලනය වී තිබෙන බව එම වාර්තාව පවසයි. ලෝකයේ වැඩි ම ජනගහණයක් සහිත මධ්‍යම ආදායම් ලබන රටක් බවට චීනය පත් කිරීමට හැකි වූ බව චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඔහු සඳහන් කළේ ගත වූ වසර 5 තුළ, 6 කෝටි 80 ලක්ෂයකට වැඩි පිරිසක් දිළිදුකමින් මුදවාගත් බව යි. චීන ජනතාවගේ වාර්ෂික ආදායම දළ වශයෙන් සියයට 7.4කින් වර්ධනය වී ඇති අතර එය ආර්ථික වර්ධන අනුපාතය ඉක්මවා ගොස් තිබේ. චීන වැසියන් විදේශ රටවල සංචාරය කළ වාර ගණන 8 කෝටි 30 ලක්ෂයේ සිට කෝටි 13ක් දක්වා වර්ධනය වී ඇත. කෝටි 90කට අධික පිරිසක් සමාජ විශ්‍රාම රක්ෂණයෙන් ආවරණය වී ඇති අතර මූලික වෛද්‍ය රක්ෂණයෙන් බිලියන 1.35ක් ආවරණය කර ඇත. ලෝකයේ විශාලතම සමාජ ආරක්ෂන ජාලයක් ඉන් නිර්මාණය වී ඇති බව ද චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙම වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5කින් වර්ධනය වනු ඇතැයි මෙම රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. මෙම වසරේ චීනයේ මිලියන 10කට වැඩි පිරිසක් දිළිඳුකමින් මුදවා ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා පුද්ගලයින් මිලියන 2.8ක් නව ස්ථාන වෙත යොමු කිරීමට සමත් වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල නිර්මාණශීලිත්වයෙන් යුත් වැදගත් ව්‍යාපෘති මාලාවක් ආරම්භ කරන බව එහි සඳහන් වේ. වායු දූෂණය පාලනය කිරීම, පිළිකා ඇතුළු බරපතල රෝග වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම ඊට ඇතුළත් වෙයි. ජනතාව වෙත සෙත සැලසීමට විද්‍යා හා තාක්ෂණය යොදවා ගත යුතු බව ද චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මහ ජනතාවගේ ක්‍රියාශීලිත්වය හා නිර්මාණශීලිත්වයට මුල් තැන දෙමින් රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව මෙමගින් අවධාරණය කරයි. සිය ප්‍රදේශවල සැබෑ තත්ත්වයන්ට සරිලන ආකාරයෙන් ඉමහත් ධෛර්යයෙන් යුතුව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස චීන රජය විවිධ මට්ටමේ පළාත් රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. චීනය සමස්ත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියට අනුව පාලනය කිරීම ඉදිරියට ගෙන යනු ඇත. එමෙන්ම නීතිමය පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම හා රජයේ සඵලතාව සමස්ත ලෙස වර්ධනය කරන බව එම වාර්තාවේ සඳහන් වේ. ඉහළ මට්ටමක විවෘතභාවයකින් ගුණාත්මක වර්ධනය ඉදිරියට මෙහෙයවීමට චීනය දායකවන බව එහි සඳහන් වෙයි. අන්තර්ජාතික දැවැන්ත ආර්ථික කොරිඩෝ ඉදි කිරීම ප්‍රවර්ධනය කිරීම, අසල්වැසි රටවල් සමඟ පවත්වන සහයෝගතා ශක්තිමත් කිරීම, නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතා පුළුල් කිරීම මෙන්ම අසල්වැසි ප්‍රදේශවල පවතින විවෘතභාවය ගැඹුරු කිරීම ඔස්සේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සඳහා වන ජාත්‍යන්තර සහයෝගතා ඉදිරියට මෙහෙයවන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසීය. විවිධ රටවල් සමග එක්ව පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට චීනය කැමැත්ත පළ කරයි. චීනය සෑම විට ම සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නැගීමට කැප වන බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි. චීනය ගෝලීය කළමනාකරණයට සක්‍රිය ව එක් වෙමින් විවෘත ලෝක ආර්ථිකයක් සංවර්ධනය කරනු ඇත. බලවත් රටවල් අතර සම්බන්ධීකරණය ඉදිරියට ගෙන යාමටත්, අසල්වැසි රටවල් සමග ඇති සුහද සම්බන්ධතා හා පොදු සංවර්ධනය ශක්තිමත් කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සමගිය හා සහයෝගතා වර්ධනය කිරීමටත් චීනය ඉදිරිපත් වන බව එම වාර්තාව පවසයි. 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතවරුන් සංඛ්‍යාව 2980 දෙනෙකි. න්‍යාය පත්‍ර දහයක් මෙවර සැසිවාරයට සම්බන්ධ වෙයි. චීන රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, සැලසුම් වාර්තාව හා අයවැය වාර්තාව පරීක්ෂා කිරීම, චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත සහ අධීක්ෂණ නීති කෙටුම්පත පරීක්ෂා කිරීම, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව, චීන ජනතා උපරිමාධිකරණයේ කාර්ය වාර්තාව සහ චීන උපරිම ජනතා පැමිණිලි සැපයුම් මණ්ඩලයේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන රාජ්‍ය මණ්ඩලයේ ආයතන ප්‍රතිසංස්කරණ වැඩසටහන පරීක්ෂා කිරීම, චීන රාජ්‍ය ආයතන මණ්ඩලය තෝරා ගෙන ධුරයට පත් කිරීම යනාදිය ඊට ඇතුළත් වෙයි. එළඹෙන 20 වැනිදා මෙවර සැසිවාරය නිමාවට පත් වීමෙන් පසු, අලුතින් තෙරී පත් වීමට නියමිත චීන අග්‍රාමාත්‍යවරයා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමු වෙමින් එම අවස්ථාවේදී නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි.