COLOMBO (News 1st): හලාවත, ඉරණවිලදී පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද මුලතිව්හිදී පොලිස් අත්අඩංගුවට පත්විය.
ඝාතනය සිදුවූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 260කට අධික දුරකින් පිහිටි මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී සැකකරු අද (4)උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ලිංගික අපයෝජනයට ලක් කර දරුවා ඝාතනය කළ සැකකරු මුලතිව් ප්‍රදේශයට පලාගොස් ඇත්තේ මීට දින 4කට පෙරදීයි.
එහිදී සැකකරු මුලතිව් මාදැල් වාඩිවල රැකියාවක් සොයමින් නයාරු ධීවර ගම්මානයේ ඇවිද ගොස් ඇත.
ගමට ආ මෙම අමුත්තා පිළිබඳ සැක පළ වූ ගම්වාසීන් ඔහු පිළිබඳව මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවයි.
ගම්වාසීන්ගෙන් ලද තොරතුර අනුව පොලීසිය අද උදෑසන සුසිත් නිර්මාල් දරුවා ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දරුවා අතුරුදන් වීම.....
හලාවත ඉරණවිල විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ජුවාන් ජොඩිගේ සුසිත් නිර්මාල් අතුරුදන්වූයේ, පෙබරවාරි 25 වනදා ය.
ඊට දින දෙකකට පසුව අතුරුදන් වූ දරුවාගේ සිරුර සඳුන්ගම කඩොලාන රක්ෂිතයේ තිබියදී සොයා ගැනිණ.
පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ, දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවයි.
ඝාතනය සිදුවූ දින සිට මෙම අපරාධයට වගකිව යුතු සැකකරු සොයා පොලීසිය මෙහෙයුම් දියත් කළේ, දරුවා ගෙන යන ආකාරය සටහන්ව තිබූ CCTV දර්ශන ද උපයෝගී කර ගනිමිනි.