ජාතික හැඳුනුම්පත අයැදුම් කිරීමේ වයස වෙනස් වෙයි

ජාතික හැඳුනුම්පත අයැදුම් කිරීමේ වයස වෙනස් වෙයි

by Hashini De Mel 04-03-2018 | 5:37 PM

COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පතක් අයැදුම් කිරීම සඳහා වූ වයස් සීමාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව අවුරුදු 15 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයැදුම් කළ හැකි ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, 2017 වසරේ සිට මෙය ක්‍රියාත්මක බවයි. පාසල් අයැදුම්කරුවන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර ජාතික හැඳුනුම්පත සඳහා පුරවැසියෙකු අවුරුදු 16 සම්පූර්ණ කළ යුතු ය. එලෙස වයස සම්පූර්ණ නොවීම හේතුවෙන් සිසුන් පීඩනයකට ලක්වීම පිළිබඳ සලකා බලා මෙම වයස් සීමාව අඩු කර ඇත. කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සහතික කළ හෝ රෙජිස්ට්‍රා ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ උප්පැන්න සහතික පිටපතක් මේ සඳහා ඉදිරිපත් කළ යුතු ය. මේ අතර නව හැඳුනුම්පතේ, පෙර භාවිතා වූ ඉලක්කම් 9කින් යුත් අංකය වෙනුවට සියලු ම පුද්ගලයන්ගේ හැඳුනුම්පත්වල පෙර භාවිත වූ අංකය අවසානයේ ඇති ඉංග්‍රීසි අක්ෂරය ඉවත් වන අතර එය ඉලක්කම් 12කින් යුතු අංකයක් ලෙස සංශෝධනය කර තිබේ.