ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී

ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී

by Hashini De Mel 04-03-2018 | 8:11 PM

COLOMBO (News 1st) - 19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාව ගුවන් හමුදාවේ මදුංශක ප්‍රනාන්දු ජය ගෙන තිබේ.

අද නිමා වූ අවසන් අදියර ජය ගෙන ඇත්තේ, ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව පැවැති ගුවන් පාපැදි සවාරියට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ස්පෝර්ට්ස් ෆස්ට් , ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක් ය. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත් විණි. දෙස් විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව ඊට එක් වූ පිරිස 170කට අධික වේ. කිලෝමීටර 150ක දුරකින් යුතු එහි අවසන් අදියර පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අද පැවැත් විය. එම අදියර ජය ගත්තේ පැය 3යි මිනිත්තු 36යි තත්පර 5ක කාලයක් සටහන් කළ ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් වේ. යුද හමුදාවේ චරිත් ප්‍රනාන්දු සහ වරාය අධිකාරියේ සජිත් හසන්ත එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකර ගෙන ඇත. මේ අතර ස්ප්‍රින්ට් අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ, වරාය අධිකාරියේ සජිත් හසන්ත වේ. 19 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ හොඳම යොවුන් ක්‍රීඩකයා ශ්‍රී ලංකා යුද හමුදාවේ තරිඳු සඳරුවන් ය. කිලෝමීටර 440ක දුරකින් යුතු සමස්ත සවාරිය ජය ගත්තේ පැය 10යි මිනිත්තු 45යි තත්පර 8ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මදුශංක ප්‍රනාන්දු වේ. ඔහුට වඩා තත්පර 7ක් පසූපසින් තරගය අවසන් කළ ඔහුගේ ම සොහොයුරු නාවික හමුදාවේ දර්ශන ප්‍රනාන්දු එහි දෙවැනි ස්ථානයට පත් විය. තුන්වැන්නා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නිශාන්ත පෙරේරා වේ. සමස්ත කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත් අතර දෙවැනි ස්ථානය නාවික හමුදාවටත් තුන්වැනි ස්ථානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවටත් හිමි වුණි. මෙම සවාරියට සමගාමීව පැවැති කාන්තා තරගය මඩකලපුව සිට අම්පාර දක්වා පැවැත් විය. කිලෝමීටර 65යි දශම 2ක දුරකින් යුතු ඉන් ජය ගත්තේ සිවිල් ආරක්ෂක බලකායේ නිලූකා ශ්‍යාමලී ය. දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ නිරෝෂනී පෙරේරාට හිමි වූ අතර තුන්වැන්නා සිවිල් ආරක්ෂක බලකායේ සන්ධ්‍යා කුමාරි වේ.