හෝමාගම සහ වලස්මුල්ල රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවක

හෝමාගම සහ වලස්මුල්ල රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවක

by Staff writer 03-03-2018 | 4:20 PM
Colombo (Newsfirst) - හෝමාගම සහ වලස්මුල්ල රෝහල්වල කාර්ය මණ්ඩල අද දහවල් විරෝධතාවල නිරත විය. ඒ, තම කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට පහර දීමට විරෝධය පළ කරමිනි. හෝමාගම රෝහලේ ගිලන් රථ රිය සහයකයෙකුට පහර දීමේ සිද්ධියක් මුල්කර ගනිමින් අද දහවල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විරෝධතාවක නිරත වූ අතර ඔවුන් පැවසුවේ, සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ය. මෙලෙස පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. වලස්මුල්ල රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බීමතින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ, එහි සෞඛ්‍ය කාර්ය සහයකවරයෙකි. සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන සිට දහවල් දක්වා රෝහලේ වැඩ වර්ජනයක් හා විරෝධතාවක් පැවැත්විණි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.