ගුවන් හමුදා පාපැදි සවාරිය දෙවන දිනටත්

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනයේ ජය වරාය අධිකාරියේ සජිත් හසන්තට

by Chathuranga Rajapaksha 03-03-2018 | 7:57 AM
COLOMBO (Newsfirst) -  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනය අදයි. මේ සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක්. මේ සඳහා සහභාගීවන දෙස් විදෙස් ප්‍රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 170 කට අධික ය. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, වරාය අධිකාරිය හා දෙහිවල ගල්කිස්ස නගර සභාව ඇතුළු කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටිති. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර 3ක් යටතේ පැවැත්වේ. ඒ අනුව, ගුවන් හමුදා පාපැදි සවාරියේ කිලෝමීටර 165 ක දුරකින් යුත් දෙවන අදියර අද පුත්තලම සිට හිඟුරක්ගොඩ දක්වා ක්‍රියාත්මකයි. සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 ක් වූ තරගයේ ඊයේ පැවති පළමු අදියර කොළඹ සිට පුත්තලම දක්වා කිලෝමීටර 124 ක දුරකින් සමන්විත විය. පළමු අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දිනා ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුපුන් ප්‍රදීප් දිනා ගත්තේය. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසීය නියෝජනය කළ සූධීර නිලංගට හිමිවිය.