දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන ජූජෝත්සවය ලබන 8

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන ජූජෝත්සවය ලබන 8 වන දා

by Staff writer 03-03-2018 | 5:15 PM
Colombo (Newsfirst) - අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 8 වන දා රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත ය. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන් අද අලුයම අපවත් විය. වර්ෂ 1963 ජුලි මස 29 වන දින මාකොළ දරණාගම උපත ලැබූ උන්වහන්සේ අපවත් වන විට පසු වුණේ 54 වන වියේ යි. ධර්ම ප්‍රචාරය හරහා මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කුසලධම්ම හිමියන් ධර්ම දේශකයාණන් වහන්සේලා ජාතිය වෙනුවෙන් බිහි කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළේ ය. මෙරට බෞද්ධ පුනර්ජීවය වෙනුවෙන් පුරෝගාමීව කැපවූ උන්වහන්සේට රාමඤ්ඤ මහා නිකාය විසින් සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ සම්මානය ද පිරිනමනු ලැබී ය. උන්වහන්සේ එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ද විහාරාධිපති ධූරයේ කටයුතු කළේ ය.