ශ්‍රී ලංකන් වංචා විමර්ශන කොමිසමට නීතිඥ කණ්ඩායමක්

SriLankan සහ Mihin Lanka අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමේ සහයට නීතිඥ කණ්ඩායමක්

by Staff writer 02-03-2018 | 2:54 PM
Colombo (Newsfirst) - ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදුව ඇති අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමේ සහයට විශේෂ නීතිඥ කණ්ඩායමක් පත් කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළත් බව ය. අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. විමර්ශන සඳහා අවශ්‍ය නෛතික උපදෙස් ලබා ගැනීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණ ය. ශ්‍රී ලංකන්, මිහින් හා ශ්‍රී ලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. ඒ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙනි. එහි අනෙක් සමාජිකයින් වන්නේ, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි. ශ්‍රී ලංකන් එයාර්ලයින්, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සහ සීමා සහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවුවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්ය භාරය වේ.