රුසියාවේ න්‍යෂ්ටික අවි ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්

ලෝකයේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කර හැකි න්‍යෂ්ටික අවි රුසියාව සතුයි - ව්ලැදිමීර් පුටින්

by Staff writer 02-03-2018 | 12:32 PM
(Newsfirst) - ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ටික ආයුධ තමන් සතුව ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ජනාධිපතිවරණයට පෙර ජාතිය අමතමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතුව පවතින බව ය. සබ්මැරීනවල සිට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් සිටින බව ද පුටින්ගේ මෙම දේශනයේදී හෙළි කර තිබේ. රුසියාව සතුව තිබෙන න්‍යෂ්ටික ආයුධවලට වඩා බලගතු ආයුධ නිපදවීමට ප්‍රථම අමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. රුසියාව සතු මිසයිල පිළිබඳව වීඩියෝ උපුටා දක්වමින් පැහැදිළි කළ ජනාධිපතිවරයා, එහිදී ප්‍රදර්ශනය කළ එක කෘස් මිසයිලයකට ලෝකයේ ඕනෑම තැනකට ළඟා විය හැකි යැයි පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් ය. එමෙන් ම යුරෝපයේ හෝ ආසියාවේ පිහිටි කිසිදු මිසයිල නාශක පද්ධතියකට එය නැවැත්විය නොහැකි බව ද ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ. දේශපාලන විචාරකයින් විශ්වාස පළ කරන්නේ, සිව් වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බව ය. මාර්තු 18 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් 7 දෙනෙකු තරග වදින අතර විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ම අපේක්ෂකයා වන අලෙක්සේයි නවාල්නිට මැතිවරණයට තරග වැදීම තහනම් වීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් විපක්ෂ නායකවරයා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන තුරු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් නොකළ ජනාධිපති පුටින් ඉදිරි වසර 6 සඳහා සිය සැලසුම් පිළිබඳව කිසිවක් සඳහන් කොට නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.