සිරස FM 24 වන වියට එළැඹෙයි

නූතන ගුවන්විදුලි කලාවේ මහ ගෙදර සිරස FM 24 වන වියට එළැඹෙයි

by Staff writer 02-03-2018 | 10:25 AM
Colombo (Newsfirst) - ලාංකේය ගුවන්විදුලි කලාවට නවමු අත්දැකීම් රැසක් එක් කළ සිරස එෆ්.එම් 24 වන සංවත්සරය අදට යෙදී තිබේ. මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයට නැවුම් ජීවයක් ලබා දෙමින් සිරස ගුවන්විදුලිය ආරම්භ කෙරුණේ, 1994 වසරේ මාර්තු 2 වන දා ය. 1995 වසරේ ජනවාරි 24 වන දින වන විට මෙරට පැය 24 පුරා විකාශය කෙරෙන ප්‍රථම සිංහල ගුවන්විදුලිය ලෙස ද, සිරස එෆ්.එම් සටහන් කළේ නොමැකෙන සංධිස්ථානයකි. රූපවාහිනිය වටා එක්ව සිටි පිරිස යළි ගුවන් විදුලිය දෙසට යොමු කළ හැරවුම් ලක්ෂය වූයේ ද, සිරස එෆ්.එම් ය. ශ්වේත රාත්‍රිය, මියැසි තටාකය, මියැසි අරණ, රම්‍ය තීර්ථය තුළින් රස පූර්ණ හා භාව පූර්ණ ගෘහස්ථ ප්‍රසංග කලා‍වේ නව මානයක් මතු කිරීමට ද සිරස එෆ්.එම් ගුවන්විදුලියට හැකි විය. සිරස එෆ්.එම් ආරම්භ කළ වසරේ ම එනම් 1994 වසරේ ජනප්‍රිය ම ගුවන්විදුලියට හිමි සම්මානය වන උන්ඩා ගුවන්විදුලි සම්මානය සිරස එෆ්.එම් වෙත පිරිනැමීම ද විශේෂත්වයකි. සිරස එෆ්.එම් මෙරට ගුවන්විදුලි නාලිකාවක් ලෙස සංවිධාන කළ විප්ලවීය ඉසව් බොහොමයක් ඇති අතර ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා සෑදු ලෝකයේ දිගම කිරිබත එනම් රජ මහ කිරිබත ඒ අතරින් ප්‍රමුඛ ය. සද්ධන්ත කුලයේ සිරස ලෙස ලංකාවේ හීලෑ අලි ඇතුන් එක් ස්ථානයකට ඒකරාශී කළ දැවැන්ත සංදර්ශනය තවත් සුවිශේෂී අවස්ථාවකි. සිරස එෆ්.එම් නමින් වරක් උඩවැඩියා මලක් ද නම් කෙරිණි. ගුවන්විදුලියෙන් ඔබ්බට යමින් මහජන සේවය වෙනුවෙන් කැපවූ සිරස එෆ්.එම් ජනතා සම්මානයෙන් ඉදිරියටත් පෙරමුණේ රැඳෙනු නොඅනුමාන යි. අදට යෙදෙන 24 වන සංවත්සරය වෙනුවෙන් සිරස එෆ්.එම් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත්තේ, එදා මෙදා තුර සිරස එෆ්.එම් වටා සිටින ශ්‍රාවක ප්‍රජාවට කෘතගුණ දැක්වීමක් ලෙස ය.