තඹුත්තේගම කැළඹූ ජල ව්‍යාපෘතිය තාවකාලිව නවතී

තඹුත්තේගම කැළඹූ ජල ව්‍යාපෘතිය තාවකාලිව අත්හිටුවයි

by Sagarika Chathumali 01-03-2018 | 9:38 PM

COLOMBO (News 1st) : රාජාංගණය ජලාශයේ ජලය යොද ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ ය.

රාජාංගණය ජලාශයෙන් ප්‍රධාන නගර 5කට ජලය සැපයීම සඳහා යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ගොවීන් උද්ඝෝෂණය කළේ මීට මාසයකට පෙරදීයි. එම ගොවීන් ඊයේ තඹුත්තේගම නගරයේ මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වු අතර නොසන්සුන් තත්ත්වයෙන් පසු පොලිසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය. මෙහිදී 59 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව 57 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ජාතික පොලිස් කොමිසම පවසන්නේ පොලීසිය කදුළුගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගත් බවයි. ගොවීන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම දක්වා ඇති වූ තත්ත්වය මෙන් ම පොලීසියේ බලය යෙදවීම සම්බන්ධ ගැටලු පිළිබඳව ද කරුණු විමසා ඇති බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ ය. මෙය රජයේ 2011 වසරේදී ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් පානීය ජල ව්‍යාපෘතියක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. අදාළ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, ව්‍යාපෘතිය යටතේ මාසයකට අක්කර අඩි 1500කට නොඅඩු ජල ප්‍රමාණයක් පමණක් ලබා ගැනීමට නියමිතව තිබූ බවයි. එබැවින් අධික නියඟයකදී හැරුණු කොට මේ ව්‍යාපෘතිය නිසා ගොවි ජනතාවට ජල හිඟයක් ඇති නොවන බව ද ඔහු පැවසී ය.