අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් 2ක් තනතුරුවලින් ඉවතට

අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ නිලධාරින් 2ක් තනතුරුවලින් ඉවතට

by Sagarika Chathumali 01-03-2018 | 9:31 PM

COLOMBO (News 1st) : නායකත්ව පුහුණුව අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් දෙදෙනෙකු එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කළ කමිටුව ලබාදුන් වාර්තාවේ නිර්දේශ මතයි. තනතුරුවලින් ඉවත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි. මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර තිබේ. ඒ අතර අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබද අතිරේක ලේකම්වරයා ද වෙති. අමාත්‍යංශය සඳහන් කළේ, ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරිවරිය ඇතුළු තවත් නිලාධරීන් කිහිපදෙනෙකු ද විනය පරීක්ෂණ පැවැත්වෙන පිරිසට ඇතුළත් බවයි. මේ අතර අමාත්‍යංශය පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා යටතේ පැවති මානව සම්පත් සංවර්ධන අංශය තාවකාලිකව ඉන් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. අදාළ නායකත්ව පුහුණුව පැවැත්වූ ආයතනය අසාදු ලේඛනගත කිරීමටත් මියගිය විදුහල්පතිවරිය වෙනුවෙන් කඩිනම් වන්දි මුදලක් ලබා දීමටත් එම කමිටුව නිර්දේශ කර තිබේ.