ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන එයි

ශ්‍රීදේවිගේ දේහය මුම්බායිහි ඇගේ නිවසට රැගෙන එයි

by Staff writer 28-02-2018 | 8:48 AM
(Newsfirst) - අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ දේහය ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැද මුම්බායි නුවර පිහිටි ඇයගේ නිවසට ඊයේ මධ්‍යම රාත්‍රියේ රැගෙන එනු ලැබුවේ ය. එම අවස්ථාවට සුපිරි සිනමා තරු රැසක් එක්ව සිටියහ. අද පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තැබෙන්නේ, ඇගේ නිවස ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ය. ඉන් අනතුරුව දේහය පස්වරු 2.00ට මුම්බායිහි විලේ පාල් ආදාහනාගාරය වෙත රැගෙන යාමට නියමිත ය. දේහය නිවස වෙත රැගෙන ඒමෙන් අනතුරුව කලාකරුවන්, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති. මේ අතර ශ්‍රීදේවිගේ හදිසි වියෝවෙන් සංවේගයට පත් රසික රසිකාවියන් දහස් සංඛ්‍යාත පිරිසක් සිද්ධිය සැලවූ මොහොතේ පටන් මේ වන විටත් ඇයගේ නිවස ඉදිරිපිට රැස්ව සිටිති. විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගිය ශ්‍රීදේවි හදිසියේ අභාවප්‍රාප්ත වූයේ, පසුගිය 25 වන දා ය. සිහිසුන් වීමෙන් පසු නාන බේසමේ ගිලීමෙන් ඇයගේ මරණය සිදුවූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. තමාටම අනන්‍ය වූ රංග විලාසයකින් රිදී තිරය හැඩ කළ ශ්‍රීදේවි ඉන්දීය සිනමාවේ පුරාවෘත්තයකි.