ජනාධිපති මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සකච්ඡා

ජනාධිපති මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සකච්ඡා

by Hashini De Mel 28-02-2018 | 8:41 PM

COLOMBO (News 1st) - ජාතික ආර්ථික සභාව මගින් යෝජනා කර ඇති ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100 පිළිබඳව ජනාධිපතිතුමා අද මුදල් අමාත්‍යාංශයේ, මහබැංකුවේ හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කර තිබේ.

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා මෙම ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100 ආර්ථික සභාව මගින් හඳුන්වාදී ඇත. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී මුදල් අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ. ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර ඇත්තේ, රාජ්‍ය බැංකු මගින් උපයා ගන්නා ලාභ කොතෙක් දුරට මහජනතාව වෙත ගලායනවා ද යන්න පිළිබඳව අවධානය යොමු විය යුතු බවයි. අදාළ ප්‍රතිලාභ ආර්ථික ක්‍රියාදාමයන් තුළ සාමාන්‍ය ජනතාව මෙන් ම ව්‍යවසායකයින් වෙත ද ගලා යාමට සැලැස්වීම ඉතා වැදගත් බව ද මෙහිදී පෙන්වාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, ණය ලබා ගැනීමේ කොන්දේසි, සුරැකුම්පත් සහ ඇප ලියවිලි අවම මට්ටමින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව ව්‍යවසායකයින්ට ණය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකසාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළ බවයි.