ගුවන් ගමන් ප්‍රමාද වීම ගැන වාර්තාවක් කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

by Staff writer 27-02-2018 | 7:15 AM
Colombo (Newsfirst) - ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි. ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා සඳහන් කළේ, අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම වාර්තාව ලබා දීමට නියමිත බව ය. එම වාර්තාවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුව සහ සිදු වූයේ කුමක් ද යන්න අමාත්‍යංශය විමසා තිබේ. යානා 2ක හටගෙන ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. එහි මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් විදෙස්ගත වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර ඔන්ලයින් මගින් ගුවන් ගමන් විස්තර පරීක්ෂා කරන ලෙසත්, නැතහොත් පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකතන අංකය වෙත අමතන ලෙස ය. එම අංකය වන්නේ, 0197331979. ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපොළේදී එක් යානයක කුරුල්ලෙකු ගැටීම හා තවත් යානයක් දෝෂයකට ලක් වීම ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ගුවන් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම කාර්ය මණ්ඩලය පැය 24 පුරා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.