ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම ප්‍රමාදයි

ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි

by Staff writer 27-02-2018 | 8:30 AM
(Newsfirst) - සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය ඩුබායි සිට මුම්බායි නුවරට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාද වී තිබේ. ඒ, ඇයගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් නොවීම හේතුවෙනි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ශ්‍රීදේවිගේ සැමියා වන බොනී කපූර්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලබා ගත් කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී වීම එම ප්‍රමාදයට හේතුව වන බව ය. ඒ අනුව ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාගෙන් තවදුරටත් කටඋත්තර ලබා ගනිමින් පවතින බව වාර්තා වේ. එමෙන් ම ඩුබායි පොලීසිය ශ්‍රීදේවි නවාතැන්ගෙන සිටි ඩුබායිහි ජුමෙයිරාහ් එමිරේට්ස් ටවර්ස් හෝටලයේ CCTV කැමරා දර්ශන අනුසාරයෙන් ද තවදුරටත් විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය. සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ මරණය දියේ ගිලීමේ අනතුරකින් සිදුව ඇති බව ඩුබායි මරණ පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය ඊයේ වාර්තා කළේ ය. ඊට පෙර ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවූයේ හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බවට ය. කෙසේ වෙතත් බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ, ඩුබායිහි ඇය නවාතැන් ගෙන සිටි ප්‍රසිද්ධ හෝටලයක නාන කාමරයේදී ඇය නාන බේසමේ ගිලීමෙන් අනතුරට පත්ව ඇති බව ය. ශ්‍රීදේවිගේ සිරුර ඊයේ රාත්‍රියේ මුම්බායි නුවරට රැගෙන විත් පැය කිහිපයක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. මේ අතර දේහය රැගෙන ඒම සඳහා ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික අනිල් අම්බානිට අයත් පෞද්ගලික ජෙට් යානයක් ඩුබායි වෙත ඊයේ පෙරවරුවේ පිටත්ව ගොස් තිබේ. සුපිරි බොලිවුඩ් තාරකාවක වූ ශ්‍රීදේවි ඇගේ ඥාති පුත් බොලිවුඩ් නළු මෝහිත් මර්වාගේ විවාහ මංගල උත්සවය සඳහා ඩුබායි වෙත ගොස් තිබුණේ, සිය ස්වාමියා වූ බොනී කපූර් සහ බාල දියණිය කුෂී කපූර් සමග ය. 22 වන දා පැවැත්වූ එම මංගල උත්සවයට පසුව ද ශ්‍රීදේවි ඩුබායිහි ජුමෙයිරාහ් එමිරේට්ස් ටවර්ස් හෝටලයේ නවාතැන්ගෙන සිටියා ය. උත්සවයෙන් පසු මුම්බායි වෙත ගොස් සිටි ඇගේ සැමියා බොනී කපූර් 24 වන දා බිරිඳට නොදන්වා ඩුබායි වෙත පැමිණ තිබුණේ, ඇය පුදුම කරවීමේ අටියෙනි. කලක් ඉන්දීය සිනමාවේ ගිනි සිළුව ලෙස කිරුළ පලන් ශ්‍රීදේවිය වෙනුවෙන් ඉන්දීය ජනපති, අගමැති සහ බොලිවුඩ් කොලිවුඩ් තාරකා රැසක් සිය ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර ඇති අතර සුපිරි තරු රැසක් සහ ඇයගේ රසිකයින් විශාල පිරිසක් මේ වන විට ශ්‍රීදේවිගේ මුම්බායි නිවස අසලට රැස්ව සිටිති.