ජාතික විගණන පනතට කැබිනට් අනුමැතිය

වසර 3 ක් ප්‍රමාද වූ ජාතික විගණන පනතට කැබිනට් අනුමැතිය

by Hashini De Mel 27-02-2018 | 7:33 PM

COLOMBO (Newsfirst) - ප්‍රමාදවී තිබූ විගණන පනත් කෙටුම්පත අද අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.

ඔහු සඳහන් කළේ, සංශෝධන සහිතව අනුමත කළ කෙටුම්පතට කිසිවෙක් විරුද්ධ නොවූ බවයි. රජයේ මූල්‍ය කටයුතු වඩාත් විනිවිද භාවයකින් සිදු කිරීම සඳහා ජාතික විගණන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බවට දින සියයයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු විය. එහි සඳහන් වූයේ, 2015 පෙබරවාරි 19 වන දා කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර එම වසරේ මාර්තු 19 වන දා සම්මත කර ගන්නා බවයි. එහෙත් දින සියයේ ආණ්ඩුව තුළ ජාතික විගණන පනත ඉදිරිපත් නොවූ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික විගණන කොමිසම පිහිටුවනු ලැබීය. කොමිසම ආරම්භ කළ ද එයට ක්‍රියාත්මකවීමට නොහැකි වූයේ, ජාතික විගණන පනත සම්මත කර ඊට අදාළ බලතළ පැවරීම දිගින් දිගටම ප්‍රමාදවීම නිසා ය. ජාතික විගණන පනත් කෙටුම්පතට ඇතුළත් වූ ඇතැම් කරුණුවලට එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසා මෙම ප්‍රමාදය ඇති ව තිබුණි. විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පසුගිය දා පැවසුවේ, අවස්ථා 20 කදී පමණ කෙටුම්පත වෙනස්කම්වලට ලක් වූ බවයි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ රාජ්‍ය මුදල් අවභාවිතයකදී නැවත අයකර ගැනීමට හැකි අයුරින් විගණකාධිපතිවරයාට බලතළ ඇති අධිභාරයක් මෙම කෙටුම්පතින් යෝජනාවීම ය. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කැබිනට් අනුකමිටු කිහිපයක් ද පත්කර මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කෙරුණි. වසර 3 කට පසුව කැබිනට් මණ්ඩලය අද ජාතික විගණන පනත් කෙටුම්පත අනුමත කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු ය. ජාතික විගණන පනත් කෙටුම්පතින් ජනතාව අපේක්ෂා කළ මූල්‍ය විනයක් ඇති වෙයිද? නිව්ස්ෆස්ට් අවධානයෙන්... https://www.facebook.com/NewsfirstSL/videos/1857481157645467/