නිදහස් කුසලානයට තරග වදින බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

by Staff writer 27-02-2018 | 2:06 PM
(Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. බංග්ලා‍දේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ, ආබාධයකට ලක්ව සිටි ශකීබ් අල් හසන්ට ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මස 6 වන දා ආරම්භ වේ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා ප්‍රකාශ කළේ, ශකිබ් අල් හසන්ව කණ්ඩායමේ නායකයා ලෙසින් නම් කර සිටිය ද තවමත් ඔහුගේ ඇඟිල්ලේ ආබාධය පූර්ණ වශයෙන් සුව වී නොමැති බව ය. ඒ හේතුවෙන් ඔහුගේ සේවය ලබා ගත හැකි වන්නේ, තරගාවලියේ තරගයකට හෝ තරග 2කට පමණක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර පන්දු රැකීමේ නිරත වීමේදී ආබාධයකට ලක්වීම නිසා ශකීබ් අල් හසන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සහ 20යි 20 තරගාවලිය ද අහිමි විය. නිදහස් කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන්නේ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20යි 20 තරගාවලියට ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදු කරමිනි. ශකීබ් අල් හසන්ට අමතරව ටමීම් ඉක්බාල්, ඉම්රුල් කායිස්, නුරුල් හසන් සහ මෙහෙදි හසන් ද බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා තිබේ.