දන්නා සමන් දෙවොල ගැන නොදත් කරුණු

දන්නා සමන් දෙවොල ගැන නොදත් කරුණු

by Staff writer 27-02-2018 | 1:24 PM
Colombo (Newsfirst) - සෑම ආගමකටම අයත් භක්තිකයින් ආගම් භේද නොසලකා මහත් වූ භක්තියෙන් යුතුව ගමන් කරන ස්ථානයක් ලෙස රත්නපුර සමන් දේවාලය පෙන්වා දිය හැකි ය. රත්නපුර සමන් දේවාලය පිළිබඳව කතා කිරීමේදී මෙහි ඉතිහාසය ඈත අතීතයට දිව යයි. කාගේත් ගෞරවයට සහ විශ්වාසයට පාත්‍ර වූ රත්නපුර සමන් දේවාලය සහ එම භූමියේ ඇති බෞද්ධ විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික කතාවයි මේ... ආර්යකාමදේව නමින් හැඳින්වූ අධිකරණ ඇමතිවරයෙකු මැණික් ගැරීම සඳහා රත්නපුරයට පැමිණ ඇති බව පුරාවෘත්තවල සඳහන් වේ. ඔහු මෙම කාර්යය සඳහා භාරයක් ද වී තිබේ. ඒ, මැණික් ගැරීම සම්බන්ධයෙන් ඔහු සිදුකරන මෙම ගවේෂණය සාර්ථක වුවහොත් සමන් දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම සඳහා එහි දේවාලයක් කරවන බවට ය. ආර්යකාමදේවගේ මෙම ගවේෂණය සාර්ථක වී ඇති අතර අනතුරුව ඔහු ප්‍රථමයෙන් ම රත්නපුර සමන් දේවාලය කරවීමට කැපවූ බව ඉතිහාසයේ සඳහන් ය. මෙම දේවාලය සඳහා හින්දු ආගමික ඇදහිලි බොහෝ සේ බලපා තිබේ. 1505දී ගාලු කොටුව හරහා මෙරටට පැමිණි පෘතුගීසීන් සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පසු එම ප්‍රදේශයේ වෙහෙර විහාර විනාශ කර තිබේ. මේ අතර 1618-1620 කාලය අතරතුරදී පෘතුගීසින් විසින් රත්නපුර සමන් දේවාලය වටා රත්නපුර කොටුව සහ දේවස්ථානය ඉදිකරන ලදී. කෙසේ වෙතත් පසුව උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1781) රත්නපුර අත්පත් කර ගැනීමට කටයුතු කළේ ය. ඒ වන විට රත්නපුර සමන් දේවාලය වටා ඉදිකර තිබූ රත්නපුර කොටුව සහ දේවස්ථානය විනාශ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු එම භූමියේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකර තිබේ. අද රත්නපුර සමන් දේවාල භූමියේ දක්නට ඇති බෞද්ධ විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ.