දරුවා දෙපයින් නගා සිටුවීමට සිඟමන් යදින අම්මා....

අසරණ දරුවා දෙපයින් නගා සිටුවීමට මහමග සිඟමන් යදින මවකගේ අනුවේදනීය කථාව...

by Sagarika Chathumali 27-02-2018 | 12:51 PM

COLOMBO (Newsfirst) : ඇතැමෙක් පොහොසත්ව උපදිති. ඇතැමෙක් දිළින්දන්ව උපදිති. කෙලෙස උපත ලැබුව ද, සිරුරේ අංග අඩුවක් නැතිව ඉපදීමට ලැබීම භාග්‍යයකි.

තරාතිරම කුමක් වුවත් දෙපයින් නැගී සිටීම මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය කරුණක් වන හෙයිනි. දෙපයින් නැගී සිටීමට නම් දෙපා ශක්තිමත් ය යුතු ය. දරුවන් යනු 'නළියන්ට ම හිත' ඇත්තන් ය. දුව පැන සෙල්ලම් කිරීමට නොහැකි ළමා කාලයක් කුමකට ද?   දිළිඳුකම පොදි බැඳගෙන උපන් එවන් අසරණ දරුවෙකු පිළිබඳව මොරටුව, කටුබැද්ද ප්‍රදේශයෙන් වාර්තා විය. මොරටුව කටුබැද්දේ ලෑලිවලින් තැනූ ගෙයක ජීවත් වන හේෂාන්ගේ දැන් වයස අවුරුදු 8කි. උපතින් රෝගී දරුවෙකු ලෙස මෙළොව එළිය දුටු පුංචි හේෂාන්ට අනෙක් දරුවන් මෙන් දුව පැන ඇවිදින්නට වරම් නැත.   දෙපා ඇදවී උපත ලැබූ මෙම දරුවා නැගී සිටින්නට උත්සහ කරන සෑම අවස්ථාවකදී ම දෙපා කැඩී යාමේ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ ය. දරුවාට අවුරුදු 5ක් වන විට 26 හැවිරිදි ඇය තවත් අසරණ වූයේ, සැමියා ඇය අතහැර යාමෙන් පසු හේෂාන් සහ තවත් දියණියක සමග මෙලොව තනි වෙමිනි. පසුව රෝද පුටුවේ තබා ගත් දරුවා ද සමගින් ඇය මහ පාරට එන්නේ, සිඟමන් යැදීම හැර වෙන කරන්නට යමක් නොමැති නිසාවෙනි.   තම අදාරණීය දරුවන් සමාජයේ ඉහළට යනු දැකීමට සිහින දකින අම්මාවරුන් අතරේ දරු දෙදෙනා ජීවත් කරවන්නට අපා දුක් විඳින මේ අම්මාගේ එක ම අධිෂ්ඨානය සිය දරුවා දෙපයින් නැගිට සිටිනු දැකීම පමණි.