කොරියන් විභාගයට අයැදුම්පත් නිකුත් කෙරේ

කොරියන් විභාගයට අයැදුම්පත් නිකුත් කෙරේ

by Sagarika Chathumali 26-02-2018 | 9:44 AM

COLOMBO (NEWSFIRST) : කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද ආරම්භ වේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, අද සිට මාර්තු 02 දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී අයැදුම්පත් නිකුත් කෙරෙන බවයි. අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය ආදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වෙතින් එම අයදුම්පත් ලබාගත හැකියි. මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වෙනු ඇති. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා ත් විභාගය පැවැත්වේ. මේ සඳහා අයැදුම් කළ හැක්කේ, වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකිකයින්ට පමණි. අයැදුම්පත‍්‍ර සම්පූර්ණ කිරීම සඳහා තම ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක් ද සෙ.මි 3.5 × 4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3 ක් තිබිය යුතුයි. අයැදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර විභාග ගාස්තු ලෙස අමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයැදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ වලංගුව පවතිනු ඇති. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතරම රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. එම කාර්යාංශය පැවසුවේ, විභාගය සමත් කිරීමට බලාපොරොත්තුවන සංඛ්‍යාව විභාග ප‍්‍රතිඵල මත තීරණය කෙරෙන අතර, සමත්වූවන් සඳහා කුසලතා පරීක්ෂණයක් ද පැවැත්වෙන බවයි.