ජනපති සහ අගමැතිට යළි සිතාසි

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, ජනපති සහ අගමැතිට යළි සිතාසි

by Sagarika Chathumali 26-02-2018 | 2:49 PM

COLOMBO (Newsfirst) : එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුලි 24 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය.

ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. එම සාක්ෂිකරුවන් දෙදෙනා කාර්යය බහුලත්වය නිසා අද දින අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් ඔවුන් දෙදෙනාගේ සාක්ෂි ලබා ගැනීමෙන් පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බව ත් පෙන්වා දෙමින් රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කළ කරුණු දැක්විම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝග කළේ ය. මින් පෙර අවස්ථා ගණානාවකදී ම සිතාසි නිකුත් කොට තිබියදිත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට සිදුවූ බවත් එමගින් දෙපාර්ශවයට ම සාධාරණයක් ඉටු කිරීමට බාධාවක් වි ඇති බවත් එහිදී මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය. විත්තිකාර තිස්ස අත්තනායක මහතාට විත්තිකරුවෙකු ලෙස දිගට ම සිටිය නොහැකි බවත් එම නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. යළි සිතාසි ලද විටක අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට ද පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීමට අද අධිකරණයට පැමිණ සිටි සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා එහිදී අවවාද කළේ ය. 2004 දෙසැම්බර් 22 දා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එවකට විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට හා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති මැතිවරණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කළේ, යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණ.