'පය බරවායට පිටිකර බෙහෙත් බැඳි' කැබිනට් සංශෝධනයක්

'පය බරවායට පිටිකර බෙහෙත් බැන්ඳ' කැබිනට් සංශෝධනයක්

by Sagarika Chathumali 25-02-2018 | 10:18 PM

COLOMBO (Newsfirst) : කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් අද දිවුරුම් දුන්හ.

ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. මෙතෙක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධූරය දැරූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊට අමතරව අද සිට නීතිය හා සාමය පිළිබදව අමාත්‍ය ධූරයට හිමි ව තිබේ. ඒ මෙතෙක් එම අමාත්‍ය ධූරය දැරූ සාගල රත්නායක මහතාගෙන් එම අමාත්‍ය ධූරය ඉවත් කරමිනි. ඒ වෙනුවට සාගල රත්නායක මහතාට අග්‍රාමාත්‍යවරයා යටතේ තිබූ තරුණ කටයුතු විෂය ක්ෂේත්‍රයට අදාළ අමාත්‍ය ධූරය ලබා දී ඇති අතර ඒ අනුව ඔහු අද සිට තරුණ කටයුතු හා දක්ෂීණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. මෙතෙක් නීතිය, සාමය හා දක්ෂින සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ පියසේන ගමගේ මහතාගේ අමාත්‍ය ධූරය සංශෝධනය කරමින් ඔහු තරුණ කටයුතු හා දක්ෂීණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ය. එමෙන්ම අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධූර හුවමාරු කර තිබේ. මෙතෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂිම් මහතා අද සිට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යධුරයේ කටයුතු කරනු ඇති. ඔහු මෙතෙක් දැරූ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. ඊට අමතරව ඔහුට මහනුවර සංවර්ධනය නමින් නව විෂය පථයක් ද පවරා තිබේ. මෙතෙක් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතාට අද සිට විදේශ රැකියා අමාත්‍ය ධූරයට හිමි විය. මෙතෙක් විදේශ රැකියා අමාත්‍ය ධූරයේ කටයුතු කළේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියයි. කම්කරු රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රවින්ද්‍ර සමරවීර මහතා අද තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ අනුව මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද සිට කටයුතු කරන්නේ බුද්ධශාසන අමාත්‍ය ධුරයේ පමණි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ අජිත් පී.පෙරේරා මහතා අද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. මෙතෙක් මන්ත්‍රී ධූරයක් පමණක් දැරූ ජේ.සී.අලවතුවල මහතා අද සිට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. මෙතෙක් එම තනතුරේ කටයුතු කළේ පසුගිය සමයේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිමල් ලංසා මහතායි.