ගිරාඹේ ආනන්ද අනු නා හිමියෝ දැයෙන් සමුගනිති

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියෝ දැයෙන් සමුගනිති

by Staff writer 24-02-2018 | 8:39 PM
Colombo (Newsfirst) - ශාසනික සහ සමාජීය වශයෙන් අනුපමේය යුග මෙහෙවරක නිරත වූ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරිණි. දින කිහිපයක් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලැබූ පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නා හිමියන් පසුගිය අඟහරුවාදා අලුයම අපවත් විය. අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේ සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති ධූරය හෙබවූ උන්වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් මෙන් ම රට දැය වෙනුවෙන් ද ඉටු කළේ මාහැඟි මෙහෙවරකි. අනු නා හිමියන් අපවත් වන විට වයස අවුරුදු 80කි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උන්වහන්සේට අවසන් බුහුමන් පුද කළේ ය. දේශපාලනඥයින් මෙන් ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියේ, උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ය. පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ගේ දේහය ආදාහන පූජෝත්සවය සඳහා ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනේ සිට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය වෙත වැඩම කෙරුණේ පෙරහැරකිනි. විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් ඉටු කළේ, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්. රැස්ව සිටි ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ අනු නා හිමි දේහය සහිත චිතකයට ගිනි දැල්විණි.