ශ්‍රී ලංකාව ගැන අල් හුසේන් කුමරුගෙන් යළි වාර්තාවක්

ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය මන්දගාමී බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා කියයි

by Staff writer 24-02-2018 | 7:40 PM
Colombo (Newsfirst) - වරදකරුවන් දඬුවම් නොලැබීම නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කැමැත්තක් පෙන්වා නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි. ඔහු මේ බව කියා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට පෙර වාර්තාවක් නිකුත් කරමිනි. මහ කොමසාරිස්වරයා මේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, 2015 වසරේ සිට ශ්‍රී ලංකා රජය තම කාර්යාලය සමග සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමග අර්ථවත් ලෙස සම්බන්ධ වීම අගය කරන බව ය. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලියෙන් එකඟ වූ කරුණු ඉෂ්ඨ කිරීම වසරකට අධික කාලයක සිට නතර වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ. වද හිංසා පැමිණ වීම පිළිබඳ චෝදනා අඛණ්ඩව එල්ල වන අතර ත්‍රස්ත මර්දන පනත ඉවත් කිරීම, එම පනත යටතේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම හා ඉඩම් මුදා හැරීම වැනි විශ්වාසය ගොඩනැංවීමේ ක්‍රියා මන්දගාමී බව ද අදාළ වාර්තාවේ සඳහන් ය. වගවීම සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අඩු මට්ටමක පැවතීම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා අවධානය යොමු කර තිබේ. ශ්‍රී ලංකාවේ වගවීමේ සහ සංහිඳියාවේ ප්‍රගතිය තවත් ධෛර්යමත් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය අඛණ්ඩ කාර්යභාරයක නිරත විය යුතු බව ද සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ වාර්තාවේ සඳහන් ය. ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ, වගවීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශ්වීය අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවන ලෙසට ය. මේ අතර ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 දී ලබා දුන් කැපවීම් සම්පූර්ණ කිරීමට ක්‍රියා කරමින් සිටියත් ඒවා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය අඩු මට්ටමකට සහ පසුබෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබේ.