රාජ්‍ය සේවකයින්ට වාහන ආනයනයට නව බදු සහන

වසර 25ක සේවා කාලයක් ඉක්මවූ රජයේ සේවකයින්ට නව බදු සහන යටතේ වාහන ආනයනයට අවස්ථාව

by Staff writer 23-02-2018 | 12:21 PM
Colombo (Newsfirst) රාජ්‍ය සේවකයින් සඳහා වාහන ආනයනය කිරීමේදී පනවා තිබූ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් අමාත්‍යංශයේ ලේකම් එච්.එස්. සමරතුංග මහතා සඳහන් කළේ, 2018 අයවැය යෝජනාවලට අනුව වාහනයේ එනජින් ධාරිතාව මත බදු අය කිරීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇති බව ය. රාජ්‍ය සේවකයින් සඳහා වාහන ආනයනයේදී වාහනයේ වටිනාකම මත මීට පෙර බදු අය කරනු ලැබී ය. වාහනයේ එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේ ක්‍රමවේදය ඇතුළත් නව චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යොමු කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. නව චක්‍රලේඛයට අනුව වසර 25ක සේවා කාලයක් ඉක්ම වූ රජයේ සේවකයින්ට වාහන ආනයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට රුපියල් මිලියන 22ක බදු සහන හිමි වන බව ය. අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු දෙවන කාණ්ඩයේ නිලධාරීන් සඳහා හිමි වන බදු සහනය රුපියල් මිලියන 16කි. අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන් සඳහා රුපියල් මිලියන 12ක බදු සහන හිමි වන බව ද ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළේ ය. නව සංශෝධන මේ මස පළමු වන දා සිට ක්‍රියාත්මක ය.