මෙරටට කෘත්‍රීම වැසි ඇති කළ හැකි බවට සහතිකයක්

මෙරටට කෘත්‍රීම වැසි ඇති කළ හැකි බවට තායිලන්ත විශේෂඥයින්ගෙන් සහතිකයක්

by Staff writer 23-02-2018 | 6:57 AM
Colombo (Newsfirst) මෙරටට කෘත්‍රීම වැසි ඇති කිරීමේ හැකියාවක් පවතින බව තායිලන්ත විශේෂඥ කණ්ඩායම තහවුරු කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයෙහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, කෘත්‍රීම වැසි නිර්මාණය සඳහා ඇති ශක්‍යතාව අධ්‍යයනයට මෙරටට පැමිණි තායිලන්ත විශේෂඥ කණ්ඩායම කළ ක්ෂේත්‍ර‍ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මේ පිළිබඳව දැනුම් දී ඇති බව ය. කෘත්‍රීම වැසි නිර්මාණය කිරීම සඳහා මෙරටට පැමිණි 5 දෙනෙකුගෙන් සමන්විත තායිලන්ත තාක්ෂණික නිලධාරී කණ්ඩායම, පසුගිය 20 වන දා විදුලි බලාගාර ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කළේ ය. ඒ, මාවුස්සාකැළේ සහ කාසල්රී ජලාශ්‍ර කේන්ද්‍ර කර ගනිමිනි. දින 3ක කාලයක් ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වීමෙන් අනතුරුව එම කණ්ඩායම කෘත්‍රීම වැසි ඇති කළ හැකි බව තහවුරු කර තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සියලු කටයුතු සොයා බැලීමට කමිටුවක් ද පත් කරන බව ය.